Tamil-Sri LankaEnglish (United Kingdom)

මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය

 

 

දිස්ත්‍රික්කයේ  මායිම් හා භූගෝලීය පසුබිම

   ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැළකෙන මාතලේ දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මී.1993.3කින් සමන්විත වේ. මධ්‍යම පළාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රක්කය නැගෙනහිර දේශාංශ 800 28.සිට 800  59, දක්වා හා උතුරු අක්ෂාංශ 70 24,සිට 80 01 දක්වා පැතිර පවතී. උතුරෙන් අනුරාධපුරයද නැගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්කවලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වභාවික සම්පත්වලින් අනුන ප්‍රදේශවලින් එකකි.

   මාතලේ යන නම ලැබීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කිහිපයක් පවතී. පණ්ඩුකාභය රජතුමා විසින් සිය මාමණ්ඩියට පැවරෑ ප්‍රදේශය මා තුල ජනපදය පසුව මාතලේ වූ බව ඉන් එක ජනප්‍රවාදයකි. තවද ගජබා රජු දවස සොලී රට ආක්‍රමණය කර 12000 ක් හෙවත් මහ තලයක් ගෙනවිත් පදිංචි කරවූ හෙයින් මහතලය මාතලේ වූ බව කියවේ. උස් කඳු මුදුන් වලින් වටවූ මහ තැනිතලාවක් වන බැවින් මහා තලාව මාතලේ වූ බව ද කියවෙන අතර මෙම මතය අද වුවත් පිළිගත හැකි කරුණකි.

  ලොව අති විශිෂ්ට  නිර්මාණයක් වූ සීගිරියද  සොබා දහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳු වැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත ලක්‍ෂ 04 කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.

  ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ උතුරු අර්ධය නිරූපණය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටීම හා භූගෝලීය කරුණු මාතලේ දිස්ත්‍රිත් ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලයේ සිතියමේ (පරිමාණය 1:325000) දඹුල්ල, නාලන්ද, කුරුණෑගල, පොළොන්නරුව, ඇළහැර හා රන්ගල යන අඟලේ සිතියම් වලින් නිරූපණය කෙරේ.   

දිස්ත්‍රික් සිතියම

 

කඳුකර පද්ධතියට අයත් කොට්සයිට්ල පියුම් ඛන්ඩිත නයිස්, ග්‍රනයිට්, කැලික්නයිස්, ස්ඵටික හුණුගල්, ඩොලමයිට් හා කොණ්ඩලයිට් වර්ගයට අයත් ගානට්, සිලමනයිට්, ෂිස්ට් හා ග්‍රැපයිට් යන පාෂාණ වලින් මාතලේ දිස්ත්‍රික්කය සමන්විත වේ. දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ ඒකකයන් වශයෙන් ගත් කල මූලික පාෂාණ වර්ගය චානෝකයිට්ය. මෙම මූලික පාෂාණ වර්ග කාලයක් ගතවීමේදී පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන නොයෙක් බලපෑම් මත උඩු නැමිල විභේද හා යටි නැමිවලින් සංකීර්ණ ව්‍යුහ සාදයි. මෙම ලක්‍ෂණ නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව දැකිය හැකිය. ඛාදනයට එතරම් ඹරොත්තු නොදෙන හා පහසුවෙන් ජීර්ණය වන ගානට්, සිලිමනයිට් හා පෙල්ඩිස්පාර් වැනි පාෂාණ පිහිටීමේ ප්‍රතිඵලයක් ලෙස නකල්ස් හා හුන්නස්ගිරි කඳු ආශ්‍රිත ප්‍රදේශවල දරුණු නාය යෑම් ඇති වී තිබේ. මෙම ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1900 ට වැඩි බැවින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇත.

    මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාවේ පිහිටි මහවැලි නිම්නය අසළ ප්‍රදේශ භූ වර්ගීකරණයට අනුව විජයන් ශ්‍රේණියට අයත් වේ. මහවැලි ගඟේ පිටාර තැන්නක් වන මෙම කලාපයේ විශේෂයෙන්ම අවසාධිත දියළු පස් තැන්පත්ව පවතී. මේ නිසා වී වගාවට ඉතා හිතකර ප්‍රදේශයක් ලෙස  දිස්ත්‍රික්කයේ නැගෙනහිර අර්ධය පෙන්වා දිය හැක.

   මාතලේ දිස්ත්‍රික්කයේ භූ විෂමතාවය සැලකීමේදී එය ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැක.

  1. උතුරු දිග තැන්න
  2. මාතලේ ද්‍රෝණිය හා නකල්ස්  ප්‍රදේශය
  3. ලග්ගල සමාන්තර හෙල්වැටි

    උතුරු දිග තැන්නට සාමාන්‍යයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අයත් වේ. තැන් තැන් වල උස් කඳු හා ශේෂ කඳු වලින් පිරුණු මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් තැනිතලාවක් හා රළු බිමක ලක්ෂණ පෙන්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි ශේෂ කඳු අතර සීගිරිය, දඹුල්ල, බෙලියකන්ද පුරාණයේ පටන්ම ප්‍රසිද්ධියක් උසුලයි. මෙම තැනිතලාව සාමාන්‍යයෙන් අඩි 500-1000 ත් අතර උන්නතාංශයක් පෙන්වයි. මෙම රැලි බිමෙහි නිම්න අතුරින් ගලා යන ගංගා හරස් කර තැනූ වැව් රාශියක් පුරාණයේ තිබුණි. ඒ අතර කන්ඩලම, දේවහුව වැනි විශාල වැව් ප්‍රධාන වේ. මීට අමතරව ඉනාමළුව තල්කොටේ හා සීගිරිය වැනි කුඩා වැව් ද වෙති. මෙම තැන්නේ ගලා යන අතු ගංගා මඟින් රජරට වැව් පෝෂණය වේ.  ඒ අතර කලා වැව හා මින්නේරිය වැව ප්‍රධාන වේ.

    මාතලේ ප්‍රදේශය ද්‍රෝණියක් ලෙස භූ විද්‍යාත්මතව පෙන්වාදිය හැකිය. එයට ප්‍රධාන හේතුව කඳු වළල්ලකින් මාතලේ නඟරය වට වී තිබීමයි. නකල්ස් , ගූරුළුහෙල- පන්සල් තැන්න, ඹ්විලිකන්ද හා හුන්නස්ගිරි කඳු වැටියෙන් වට වී ඇති මාතලේ නඟරය ආශ්‍රිත ප්‍රදේශ මෙසේ ද්‍රෝණියක පිහිටයි. මාතලේ නගරයේ සිට මෙය පැහැදිලිවම නිරීක්ෂණය කල හැකිය. මෙම ප්‍රදේශයේ භූ ලක්‍ෂණ සංකීර්ණ කරවමින්  ගලා බසින ගංගාව සුදු ගඟ වේ. මෙම ගඟ ඉහත කී කඳු වැටි වලින් ගලා එන දිය දහර රාශියකින් පෝෂණය වේ. මාතලේ සිට රත්තොට හරහා නැගෙනහිර දෙසට යන විට රළු භූ විෂමතාවයක් දක්වන නකල්ස් වැටිය හමු වේ. මිටි කරගත් හස්තයක ඇගිලි මුදුන් ආකාරයට පිහිටි නිසා මෙම කඳු වැටියට ඒ නම ලැබී ඇත. මුදුන් පහකින් සමන්විත මෙම වැටියේ සාමාන්‍ය උන්නතාංශය අඩි 400 ක් පමණ වේ. සොබා සෞන්දර්යය අතින් ද  දිවයිනේ කිසිදු ප්‍රදේශයකට නොදෙවෙනි වන මෙම ප්‍රදේශය දැඩි රක්ෂිතයක් ලෙස රජය විසින් නමිකර ඇත.  මෙම වැටියේ පිහිටි හුදකලා කඳු අතර ලකේගල හා කළු පහන කන්ද ප්‍රකටය.

    නකල්ස් කඳු වැටියේ වැටියේ නැගෙනහිර බෑවුමේ පිහිටි කැපී පෙනෙන ලක්‍ෂණයකි ලග්ගල සමාන්තර හෙල්වැටි කලාපය, නකල්ස් වැටියේ සිට ලග්ගල ප්‍රදේශයට සමාන්තරව උතුරු දෙසට විහිදෙන හෙල්වැටි 3 කින් මෙම කලාපය සමන්විත වේ. මින් එක් වැටියක් නතල්ස් හි තෙළඹුගල සිට වස්ගමුව දක්වා ද දෙවැනි වැටිය නකල්ස්හි වමාරපුගල සිට රණමුරේ හරහා අඹන්ගඟ දක්වාද විහිදෙන අතර තෙවැනි වැටිය එතරම් පැහැදිලිව දැකිය නොහැකි වුවත් රඹුක්ඔළුව ප්‍රදේශයේ සිට ලග්ගල උඩසිය පත්තුව දෙසට විහිදෙයි. මෙම හෙල් වැටි වලින් ඇරඹෙන දිය දහර දිස්ත්‍රික්කයේ උතුරු සීමාවේදී  අඹන්ගඟට සම්බන්ධ වේ.

           දිස්ත්‍රික්කයේ වනාන්තර ව්‍යාප්තිය ද සංකීර්ණය. එහි මධ්‍ය නිරිත හා බටහිර ප්‍රදේශ කඳුකර තෙත් කලාපීය වනාන්තර ද උතුරු හා ලග්ගල - විල්ගමුව ප්‍රදේශ පහතරට වියළි කලාපීය වනාන්තර වලින් ද සමන්විත වේ. ප්‍රධාන මෝසම් සුළං වර්ෂා 2 මඟින්ම වර්ෂාව ලැබුවත් වැඩි වර්ෂාපතනයත් ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං මඟිනි. නකල්ස් වැටිය අසල පුළුල් ජෛව විවිධත්වයක් පෙන්නුම් කරන අතර මෙය ලංකාවේ ප්‍රධාන දායාදයක් ලෙස සැලකිය හැකිය. හෝටන් තැන්නට බොහෝ සෙයින් සමාන එහෙත් විශාල නොමැති පතනක් පිටවල ආශ්‍රිතව පිහිටා ඇති අතර කුඩා ලෝකාන්තයද එහි එක් කෙලවරක පිහිටා ඇත. 

    

ඓතිහාසික පසුබිම හා එහි වැදගත්කම

       මාතලේ දිස්ත්‍රක්කයේ ඉතිහාසය සැලකීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයේ යක්ෂ ග්‍රෝත්‍රකයින් විසු ප්‍රදේශයක් බවද සාක්ෂි හමුවී ඇත.දැනට සොයා ගෙන ඇති පුරා වස්තු ව්‍යාප්තිය අනුව දිස්ත්‍රක්කයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල මොවුන් වැඩි වශයෙන් විසිරි සිටි බව පෙනෙයි. මෙම ප්‍රදේශවල පිහිටි හුදකලා ගිරි කුළු ඔවුනගේ වෘත්තිය පැවැත්මට ඉතා හිතකර විය.වසර 3000ක් පමණ වයස ඇති මළ සිරුරක් දඹුල්ල අසළ ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, ඉහත කරුණු සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂියක් ලෙස එය ගත හැක.

    මෙයට වසර 4000 කට පෙර විසු ලෝ ප්‍රකට රාවණා රජුගේ අගනුවර වර්තමාන ලග්ගල අසළ ලකේගල හෙවත් ලංකාපුරය යැයි කියවේ. රාවණා නම සඳහන් ස්ථාන කිහිපයක් අදත් ලග්ගල ආශ්‍රිතව පවතී.

     විජය කුමරු ලංකාද්වීපයට ගොඩබසින ලද අවස්ථාවේ කපු කටිමින් සිටි කුවේනියගේ නිජ බිම ගලේවෙල අසළ බම්බාව යැයි වංශ කථාවල සඳහන් වේ. ඇයගේ පියාද බම්බා නම් වු අතර,ඔහු එම ප්‍රදේශයේ පාලකයා විය.යක්‍ෂ ග්‍රෝත්‍රකයින් විනාශ කිරීමෙන් පසු මෙම ප්‍රදේශ නෂ්ඨාවශේෂ වු බව කියැවේ.

     ක්‍රි.පු. වන සියවසේ දී පමණ ශ්‍රී මහා බෝධියත් සමඟ මෙරටට පැමිණි ආර්යයන් විසින් මෙම ප්‍රදේශ වල ජනාවාස බිහිකල බව ඉතිහාස පොත් වල ලියැවී ඇත. මෙසේ ජනාවාස ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතු සාධක වුයේ වී වගාවට ප්‍රමාණවත් ජලය ලබා ගැනීමේ අපහසුවයි. 1 වන ගජබා රජු සොළී දේශය ආක්‍රමණය කර රැගෙන ආ 12000 දෙනා පදිංචි කර වුයේ ද මාතලේ ආශ්‍රිතව බව ජනප්‍රවාදයේ දැක්වේ. මාතලේ කඩඉම් පොත දක්වා ඇති ආකාරයට ආර්යයන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල පදිංචි වු අතර ඉන් ස්ථාන 17ක් වර්තමාන මාතලේ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.ඉන් වැඩි ප්‍රමාණයක් ගලේවෙල හා ප්‍රදේශ ආශ්‍රිත ඒවා වේ. 

      මාතලේ ඉතිහාසයේ කීර්තීමත් කාල පරිචිඡේදයක් වන්නේ ක්‍රි.පු 89-77 දක්වා වු වළගම්බා රජු සමයයි.මාතලේ අළුවිහාරයේ දී සිදුකළ ත්‍රිපිටිකය ග්‍රාන්ථාරූඩ කිරීමේ කාර්යය සිදු වුයේ මෙම වකවානු වේ දීය. මිළග ස්වර්ණමය යුගය එළඹෙන්නේ ක්‍රි.ව 479-497 දක්වා වු කාලයයි.සිය පියාණන් ඝාතනය කර රාජ්‍ය භාරගත් කාශ්‍යප කුමරා තම අගනුවර ලෙස දඹුල්ල අසළ සිගිරිය තෝරා ගත්තේය.ඔහු විසින් අනුරාධපුර ශ්‍රී විභූතිය සිගිරියට ගෙන එමින්  මහාර්ඝ නිර්මාණයක් එහි කරවීය.  එතෙක් වන ගත ආරණ්‍ය සේනාසනයක්ව පැවතී සිගිරිය මනරම් ආලකමන්දාවක් කිරීමේ ගෞරවය මෙතුමාට හිමි වේ.වසර 18ක් එහි රාජ්‍ය මෙහෙය වු ඔහුගේ නිර්මාණය අද වුවත් ‍ලොව මවීත කරවයි. ඔහු විසින් සීගිරිය අවට කරවු ගොඩනැගිලි හා ජල තාක්‍ෂණය නුතන ඉංජිනේරු තාක්‍ෂණයට අභියෝගයකි.එසේම සීගිරි පර්වතයේ කල බිතුසිතුවම් ද විශිෂ්ඨ නිර්මාණයක් බව පැහැදිලිය.

    අනුරාධපුර පාලනයේ අවසන් යුගයේ මානවම්ම රජු සමයේ ලැබුණු තවත් දායාදයක් ලෙස නාලන්දා ගෙඩි ගෙය හැඳින්විය හැක. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හින්දු ආභාෂය මුසු වූ නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, දිවයිනේ මධ්‍ය කේන්ද්‍රය මෙම ස්ථානයේ බව පිළිගැනීමක් පවතී. පොළොන්නරුව පළමු පාලකයා වූ විජයභාහු රජතුමා සොළීන්ගෙන් රට ගලවා ගැනීමේ මුල්ම කුමන්ත්‍රණය සිදු කලේ දඹුල්ල අසළ මැණික්දෙන නම් ස්ථානයේදීය. එසේම ඹහුගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානයක් ලෙස ද එය තෝරා ගත්තේය.

    1 වන පරාක්‍රමබාහු කුමරා පොළොන්නරුව පාලක ගජබා රජුට එරෙහිව කල සටන් සඳහා ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්තේ නාලන්දාවයි. මීට අමතරව සැලගමල , බෝගම්බර, ලග්ගල,රණමුරේ, අඹණ ආදී  ප්‍රදේශද සටන් මධ්‍යස්ථාන ලෙස තෝරා ගත්තේය. පොළොන්නරුව අවසන් පාලකයා වූ නිශ්ශංකමල්ල රජු දඹුලු විහාරය රන් ගල්වා ප්‍රතිසංස්කරණය කල අතර, අනතුරුව එය රංගිරි දඹුලු විහාරය ලෙස හැඳින්වූ බව කියවේ. එසේම ඔහුගේ සිංහාසනය නිර්මාණය කිරීම සඳහා බේලිය කන්දෙන් ගල් පර්වතයක් ගෙන ගිය බව කියවේ.

    ගම්පොළ විසූ 3 වන වික්‍රමබාහු රජතුමාට එරෙහිව උතුරේ විසූ ද්‍රවිඩ රජෙකු වන ආර්යය චක්‍රවර්තී විසින් සේනාවක් එවූ බව දැන රයිගමට පළා ගියේය. එම ද්‍රවිඩ සේනාව මාතලේ නඟරය ආසන්නයේ කඳවුරු ලා ගෙන සිටින අවස්ථාවේදී ස්වකීය අභිමතය පරිදි මාතලේ ජනතාව ඔවුන් සමඟ සටන් කළහ. එහිදී  ද්‍රවිඩ සේනාවේ විශාල පිරිසක් මිය ගිය අතර සෙසු පිරිස පළා ගියහ. මෙය ලක් ඉතිහාසයේ පාලකයකුගේ මඟ පෙන්වීමකින් තොරව කළ එකම සටන බව කියවේ.

    කෝට්ටේ යුගයේ 6වන පරාක්‍රමබාහු රජුගෙන් පසු ලක්දිව එක් සේසත් භාවය බිදි ගියේය.අනතුරුව උඩරට රාජ්‍යයේ කොටසක් වු මාතලේ ප්‍රදේශයට යුව රජෙකු වශයෙන් විජයපාල කුමරා පත්කරන ලදී.මෙකළ කන්ද උඩරට පාලකයා වුයේ ඔහුගේ පියා වු සෙනරත් රජතුමාය.ගොඩපළ තම මාළිගය සාදා එහි සිට පාලනය ගෙන ගිය විජයපාල කුමරා දක්ෂ සටන් කරුවකු විය.පෘතුගීසීන් සමඟ සටන් කර ඔවුන් දරුණු ලෙස පරාජයට පත්කිරීමට මේ කුමරා සමත් විය.ක්‍රි.ව.1635 දී මේ කුමරා මාතලෙන් පළා ගිය අතර, එතැන් සිට මාතලේ කන්ද උඩරටට පාලනයට නතුවිය.1815 දී මාතලේ ප්‍රදේශය ඇතුළුව උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. බ්‍රිතාන්‍යයන්ට මාතලේ වැඩි වැදගත්කමක් ඉසුළුවේ වතු වගාවට හා ත්‍රිකුණාමල - මහනුවර මාර්ගය මාතලේ හරහා වු බැවිනි.සොළී හා ද්‍රවිධ ආක්‍රමණවලදී ද රජරට රජවරු කන්ද උඩරටට පළා යාමට යොදා ගත්තේ මාතලේ හරහා වු මාර්ගයයි. විශේෂයෙන් කන්ද උඩරටටත්, රජරටත්, ත්‍රිකුණාමලයත් සම්බන්ධවුයේ මාතලේ හරහා ය. 1803 හා 1815 කන්ද උඩරට ආක්‍රමණය සඳහා  බ්‍රිතාන්‍යයන් මෙම මාර්ගය යොදා ගත්තේය.1803 ආක්‍රමණය සඳහා  ඔවුන් මාතලේ අසළ මැක්ඩවාල් කොටුව ඉදිකළ අතර, ආක්‍රමණය අසාර්ථක වීමත් සමඟම එයද විනාශ විය.වර්තමානයේ මාතලේ ප්‍රසිද්ධ සුසාන භුමිය ලෙස යොදා ගැනෙන්නේ මෙම බලකොටුව තිබු ප්‍රදේශය වන අතර.එහි නටඹුන් අදත් දක්නට ඇත.

    1848 දී දියත් වු කැරැල්ල මාතලේ ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකී.මෙම කැරැල්ලේ සම්පුර්ණ සැලැසුම් හා ක්‍රියාත්මක වීම සිදුවුයේ මාතලේ දිස්ත්‍රික්කය තුලදීය.වීරපුරන්අප්පු හා ගොංගාලේගොඩ බංඩා විසින් මෙහෙයවු මෙම කැරැල්ල අසාර්ථක වීමත් සමඟම නායකයන් සියළු දෙනාම මාතලේ දී අත්අඩංගුවට ගෙන ජිවිතක්ෂයට පත් කරන ලදී.

      ශ්‍රී ලංකාවේ කිර්තිනාමය රැන්දු ඇහැලේපොල නිළමේ,ඇතිපොළ නිළමේ හා වීර මද්දුම බණ්ඩාර ද මෑත යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර හා ජනාධ්පති වු විලියම් ගොපල්ලාව මහතාගේත් නිජ බිම මාතලේ දිස්ත්‍රික්කයයි.එසේම මහනුවර රාජධානියේ රජවරුන්ගේ විශ්වාසවන්ත නිළමේවරු හා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මාතලේ සිය නිජ බිම කරගෙන තිබුණි.

  

     ප්‍රදේශයේ ඛණිජ සම්පත් සැලකීමේදී ලග්ගල කොට්ඨාශයට අයත් කලුගඟ හා හත්තොට අමුණ මැණික් සඳහාද වාරියපොළ හා කයිකාවල මයිකා නිධිවලටද, තලාගොඩ හා ඕවල පිඟන් කර්මාන්තයට යොදන පෙල්ඩිස්පාර් ඛණිජ නිධිවලටද වැදගත්කමක් උසුලයි. තවද හුණු හා කළු ගල් කර්මාන්තයද මෙම දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වශයෙන් සිදු කෙරේ.

දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය රටාවන්

           මාතලේ දිස්ත්‍රික්කය විවිධ දේශගුණික ලක්ෂණවලින් සමන්විත දිස්ත්‍රික්කයක් වන අතර එයට වියලි හා තෙත් කලාප ද අයත් වේ. මෙම දේශගුණ රටාව පදනම්ව විවිධ කෘෂිකාර්මික භෝග වගාවන් දිස්ත්‍රික්කය තුල වගා කෙරේ. ඒ අනුව දිස්ත්‍රික්කයේ බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. මෙම වගාවන් අතර වී වගාව ප්‍රධාන වන අතර ඊට අමතරව ලොකු ළූණු වගාව, අතිරේක භෝග වගාව,එළවළු වගාව,ප්‍රධාන තැනක් ගනී.මිණිපේ වාර්මාර්ග ක්‍රමය යටතේ විල්ගමුව කොට්ඨාශයේ විශාල වශයෙන් වී වගාව කෙරෙන අතර දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගාව හා එළවළු වගාව සිදු කෙරේ. 

            මීට අමතරව දිස්ත්‍රික්කය තුල සුළු අපනයන භෝග වගාවද විශාල ලෙස සිදු කෙරෙන අතර ඒ මගින්ද තම ජීවිකාව සරි කර ගනු ලබන ජන කොටසක් සිටී. ඔවුන් මාතලේ, යටවත්ත,උකුවෙල, අඹන්ගඟකෝරලේ,රත්තොට, ලග්ගල,  නාඋල,පල්ලේපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වේ. වගා කරනු ලබන සුළු අපනයන බෝග අතර ගම්මිරිස්,කෝපී,කොකෝ,කරාඹු,ප්‍රධාන තැනක් උසුලනු ලබයි.

       තවද දිස්ත්‍රික්කය තුල කර්මාන්ත ක්ෂේත්‍රය ජීවනෝපාය කර ගත් ජන කොටසක්ද සිටී.. මෙම කර්මාන්ත අතර ලාක්ෂා කර්මාන්තය, හන කර්මාන්තය, රස කැවිලි නිෂ්පාදනය, මැටි කර්මාන්ත, ගඩොල් කර්මාන්තය, මැණික් කර්මාන්තය,බේකරි කර්මාන්තය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. මීට අමතරව සේවා අංශය ජීවිකාව කර ගත් සැලකිය යුතු ජන සංඛ්‍යාවක් මෙම දිස්ත්‍රික්කය තුල ජීවත්වීමද දැකිය හැක.

 දිස්ත්‍රික්කයේ ස්වභාවික සම්පත්

 

ටෙන්ඩර් දැන්විම් - - - - - -

  • ප්‍රසම්පාදන දැන්විම්
වාර් තා - - - - - - - - - - - -
  • වාර් ෂික කාර්ය සාධනය හා ගිණුම් වාර්තාව - 2017

ඉල්ලුම් පත්‍ර - - - - - - - - - -

  • රැකියා සඳහා ඉල්ලුම් පත්
  • වකුගඩු රෝගින් සඳහා දිමනා
  • ස්වශක්ති - විස්තර හා අයදුම්පත්
  • SMS නිල කෙටි පණිවිඩ සේවා

නිවුණු, හැදුණු, පිරුණු සොඳුරු මිනිසුන් පිරි පින්බර දේශයක් නිර්මාණය කිරිමේ අරමුණ පෙරදැරිව, මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් සාහිත්‍ය මාසය නිමිතිකොට ගෙන මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය, මහ නගර සභාව, මහජන පුස්තකාල කමිටුව, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය, පළාත් අධ්‍යාපන දෙපාරුතමේන්තුව හා එක්ව ඔක්තෝබර් 11, 12, 13 යන දිනවලදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.