ඔක්තෝබර් පළමුවෙනි දිනට යෙදෙන 2019 ලෝක ළමා දින ජාතික උත්සවය “සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්“ යන තේමාව යටතේ   මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේදී පවත්වන බව කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය පැවැසුවාය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීයදී පවැති සාකච්ඡාවකදී ඇය මෙම කරුණු අනාවරණය කළාය. මාතලේ දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි විජේරත්න මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙවර 2019 ලෝක ළමාදින උත්සවය මාතලේ දී පැවැත්වීමට තීරණය කොට තිබේ. ලෝක ළමා දිනයට සමගාමිව මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි  දින තුනක් පුරා ලෝක ළමාදින සමරුම ක්‍රියාත්මක වේ. මෙහිදී එක් දිනක් පුර්ව ළමාවිය හා ගර්භනී මාතාවන් ඉලක්ක කොටගෙනද, එක් දිනක් ආබාධිත දරුවන් ඉලක්ක කරගෙනද, එක් දිනක් වැඩි හිටි ළමුන් හා ළමා සමාජ ඉලක්ක කරගනිමින් විවිධ වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කොට තිබේ. ලෝක ළමාදිනයේදී ළමයින් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් සංවිධානය කිරීමට පියවරගෙන ගෙන තිබේ.

            ලෝක ළමා දින මුලික සාකච්ඡාව මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි විය.

LD